සාමාන්‍ය පවුලක දරුවකු ලෙස ඔහු හිස් අතින් මෙලොවට ආවේය. දුක, සැප සියල්ලට මුහුණදෙමින් හැදී වැඩුණු ඔහු ජිවන රගමඩලේ තම ස්වාධීන රංග කෞෂල්‍ය වටහාගෙන වේදිකාව මත රගපෑමට පියවර තැබුවේ 1978 දී පමණය. ඇන්ටන් ජුඩ් නැමැති හේ එතැන් සිට රංගනය වෙනුවෙන් කළ කැපකිරිම අපමණය. පැමිණෙන දුක් පැණි රසයටම බාරගත් ජූඩ් කලාව වැළද ගත්තේ සකල පදාර්ථයෙන්ම යුතු සිය ආත්මයෙන්මය. රංගනයට ගරුකල හේ කලාවට දැක්වු භක්තියද අපමණය.
එහෙව් වු ජූඩ් ටිකෙන් ටික පියවර තබමින් කලා ලොව ඉණිමග ඉහළට නැග්ගේ බොරු ආඩම්බරකාරයෙකු ලෙස නොවේ. වඩාත් නිහතමානී මනුස්සකම හිස මුදුනේ තබාගෙනය. ඒ නිසාම සමාජයට ඔහු අතිශය සමීප කලාකරුවෙක් විය. ඕනෑම කෙනෙකුට කලාකරුවකු වීමට පුලුවන. එහෙත් ගුණයහපත් මිනිසෙකු වීමට පුලුවන්කමක් නැත. නමුත් ඇන්ටන් ජුඩ් යනු මනුස්සකම සත්‍ය ලෙසම ප්‍රකාශ කළ මානවයෙකි. නිකම් ආධ්‍යාත්මයක් නැති කලාකරුවෙකු ගානට ඔහු ඇතුළත් වන්නේ නැත. ශාස්ත්‍රීය යැයි කියා ප්‍රායෝගික නොවු කලාකරුවෙකු වන්නේද නැත. අතිශය සුන්දර දුර්ලභ ගණයේ මිනිසෙකුම වන්නේය. ජිවත්ව සිටියදි කිසිවෙකුටත් කරදරයක් නොවු ජූඩ් සිනහවෙන් මුව සරසා ගෙන අපට සිනහව දුන්නේ අවංකවමය. ඒ අවංක, නිහතමානී, අහිංසක මිනිසා දැන් අප අතර නැත. නුඹ ගැන අපට මොන තරම් නම් වර්ණනා කළ හැකිද? ඒත් දැන් ඒ කිසිවකින් වැඩක් නොවන්නේ නුඹට ඒවා නෑසෙන නිසාය. නුඹ ඒවා නොදකින නිසාය. ඒත් අපි එක් දෙයක් කියන්නෙමු. ඒ නුඹගේ අවංක වඩාත් ගුණ යහපත් මනුස්සකමය. ඒ නිසාම නුම සිහිපත් වෙන සෑම මොහොතකදීම සමස්ත ශ්‍රීලාංකිකයන් නුඹට ගෞරව කරාවි. හිතාදර, දයාබර ජූඩ් ඒ ගෞරවයම ඇති නේද නුඹගේ ආත්ම සැනසීමට...... නුඹට සුවදායක ගමනාන්තයක්ම වේවා !
උපුටා ගැනීම >>> සදැල්ල
No comments:
Post a Comment